Skip to content Skip to footer
Malwathu Maha Viharaya
Malwathu Maha Viharaya

History

ඉතිහාසය

මල්වතු මහා විහාරය


මල්වතු මහාවිහාරය අද්‍යතන ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනයේ මූලස්ථානයයි. ලක්දිව මෙන්ම ලෝකයේ විවිධ රටවල්වල පිහිටි විහාරස්ථාන 5400 කට අධික ප්‍රමාණයක පරිපාලනය සිදු කරන මෙම සංඝ මූලස්ථානය ලක්දිව සම්බුද්ධ ශාසනයේ සුරක්ශාව හා ප්‍රවර්තනය උදෙසා ලබා සිදු කරන සුවිසල් මෙහෙය වචනාතික්‍රාන්තය.

වර්තමානයේ දී මල්වතු මහාවිහාරය නමින් චිරප්‍රසිද්ධ මෙම ආරම සංකීර්ණයට එම නම ලැබී ඇත්තේ ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරය සහිත රාජකීය නගරාංගවලින් සමන්විත අගනුවර පිහිටි රාජකීය පුෂ්පෝද්‍යානය තුළ මෙම විහාර සංකීර්ණය ගොඩ නංවා ඇති හෙයිනි.ලක්දිව බුද්ධ ශාසනයේ පිහිට වූ තැන් පටන් පුෂ්පාරාම, ඵලාරාම, සංඝාරම වශයෙන් විහාරස්ථාන පූජා කිරීමට පෙර රජදරුවන් කටයුතු කළ බව ශාසන ඉතිහාසයෙන් පැහැදිලි වේ.

Dambulla-Cave-Temple-Sri-Lanka

ඒ අනූව කිර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් විසින් වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ ශාසන පුනරුදයෙන් සිදු කෙරුණ ස්‍යාමෝපසම්පදාව පිළිබඳ ප්‍රමුදිතව ඊට කෙරෙන ශාසන සංග්‍රහයක් ලෙස සිය රාජකීය පුෂ්පෝද්‍යානය සසතු කොට පූජා කොට මෙම විහාර සංකීර්ණය ඉදි කළ බව ඉතිහාසය තුළ සඳහන් වේ. ඒ අනූව වර්තමාන ලංකේය සම්බුද්ධ ශාසනයේ ජන්ම භූමිය ලෙස අතිසම්භාවිත මෙම රාජකීය පුණ්‍යභූමියේ ආරම්භය මහනුවර යුගයේ සිදු වුවද මෙම භූමියේ ශාසනික සබඳතා පිළිබඳ ඉතිහාසය එයින් ශතවර්ෂ තුනකට පෙර අතීතය දක්වා දිව යයි. එනම් මල්වතු මහාවිහාරයේ උපෝෂිතාරාමය යනුවෙන් හඳුන්වන වර්තමාන පෝයමළු විහාරයේ ආරම්භය රාජ්‍ය වර්ෂ 1542 දක්වා ඈතට දිව යයි.

 

ගම්පොල රාජධානි සමයේ තුන්වන වික්‍රමබාහු රජතුමා සෙංකඩගල නුවර ආරම්භ කිරීමේ දි මෙම විහාරස්ථානය ඉදිකොට ඇත. රාජ්‍ය වර්ෂ 1542 දී වීරවික්‍රම රජතුමන් විසින් උඩරට සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධන පුරයෙහි රජ පැමිණ සතර සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කොට රාජ්‍ය පාලනය කරමින් රජගෙට දකුණු දිසාවෙහි ඉතා සිත්කළු වූ භූමි භාගයෙහි තථාගතයන් වහන්සේගේ පාත්‍රා ධාතුව වඩා හිඳුවා දා ගැබක් කරවා එහිම දෙමහල් පොහොය ගෙයක් කරවා අසූ සයක් සංඝරාම ඉදිකර මහාසංඝරත්නයට පූජා කළ බවත් එය වර්තමාන පෝයමළු විහාරස්ථානය බවත් මහාවංශයෙහි සඳහන් වේ. එසේම ථෙරවාදී මහාවිහාර ශාසන සම්ප්‍රදායේ අසම්භින්න ඉතිහාසයේ වර්තමාන කෙන්ද්‍රස්ථානය වන මල්වතු මහාවිහාරනුබද්ධ සංඝ පරම්පරාවන්ගේ ඉතිහාසය ලක්දිව ශාසන ප්‍රතිෂ්ඨාපනය දක්වා ඈත අතීතයකට දිව යයි.

 

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගිය තැන විනයධර උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරායාත ධර්මාශෝක මහරජාණන් පුතණු වූ මහාමහින්ද මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමග සම්බුද්ධ ධර්මයේ ආලෝකයෙන් ලක්දිව ඒකාලෝක වන්නට විය. ඉන් අනතුරුව අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීයන්ගේ උතුම් වූ ප්‍රව්‍රජ්‍යාවත් විනය සංගායනාවත් හේතුකොටගෙන බුදු දහම ලංකාදීපයේ මුල් බැස ගත්තේය. එතැන් පටන් ථෙරීය මහාවිහාර සංඝ මූලස්ථානය ලෙස පෙරාපර දෙදිගම සාතිශය සම්භාවනාවට පාත්‍ර වෙමින් ගත වූ සියවස් විසිතුනකට අධික කාලය තුළ බුදුදහම එහි මෞලික ස්වරූපයෙන් ආරක‍ෂා කර ගනිමින් අටුවා, ටීකා, සංග්‍රහ ග්‍රන්ථයන් සම්පාදනය* කරමින් සමස්ත ලෝකයාට උතුම් ථෙරීය බෞද්ධ දර්ශනයේ සංස්පර්ශය ලබා දීමට ලංකේය භික්ශූ පරම්පරාව අප්‍රතිහත ධෛර්යයෙයන් කටයුතු කළ ආකාරයට ලාංකේය වංශකථා සාක්ශි සපයයි.

 

අනුරාධපුර, පොළොන්නරු යුගයන්හිී දී විවිධ විදේශීය ආක්‍රමණ මධ්‍යයේ වුව ද ජිවිත පරිත්‍යාගයෙන් ත්‍රිපිටක පාලියත්, අටුවා සම්ප්‍රදායත් ආරක්ශා කරගනිමින් ටීකා හා සංග්‍රහ ග්‍රන්ථයන් රචනා කරමින් ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න ශාසන භාරධාරී භික්ශූන් වහන්සේලා සම්බුද්ධ ශාසනය ආරක්ශා කර ගැනීමට කටයුතු කළහ. කල් යාමේ දී ශාසනය තුළ ඇති වූ අප්‍රතිපත්ති දුෂ්ප්‍රතිපත්තීන් දැක කම්පිත වූ පරාක්‍රමබාහු මහරජතුමන් තුන්නිකා සමගි කරවා ශාසන සාමග්‍රීය ඇති කොට සම්බුද්ධ ශාසනේය සුරක‍ෂාව, ප්‍රවර්තනය, ප්‍රවර්ධනය උදෙසා කටයුතු සම්පාදනය කළහ.

 

ඉන් අනතුරුව, දඹදෙණි, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ යුගයන් හී දි ජාත්‍යන්තර වශයෙන් ද සම්බුද්ධ ශාසනයේ කොෂ්ඨාගාරය ලෙස අග්නිදිග ආසියාතික රටවල්වල ශාසනෝන්තිය උදෙසා ඉමහත් ශාසන අනුග්‍රහයක් ලබා දීමට ලාංකේය ථෙරපරම්පරාව කටයුතු කළහ. ඒ සෑම යුගයකදීම සංඝ මූලස්ථානය ලෙස සැලකෙන මහාවිහාරය රාජධානි සංක්‍රමණයත් සමග සංක්‍රමණය වූ අතර ඒ ඒ කාලවකවාණුවල දී ශාසන පරිපාලනය උසුලමින් ශාසන චිරස්ථීතිය උදෙසා කටයුතු සම්පාදනය කරන්නට ශාසනභාරධාරී තෙරවරු කටයුතු කළහ.

 

එකී අවිච්ඡින්න මහවිහාර ථේර පරම්පරාවේ වර්තමාන ශාසන මූලස්ථානය සෙංකඩගල නුවර පිහිටි මල්වතු මහාවිහාරය යි.

 

රාජ්‍ය වර්ෂ 1592 දී රජ පැමිණි විමලධර්මසූරිය රජතුමා දෙවනගල රතනාලංකාර මහාසාමීන්ගේ උපදෙස් මත දෙල්ගමුව රජමහා විහාරයෙන් වාම ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩම කරවා කන්ද උඩරට රාජධානිය පිහිටුවා සම්බුද්ධ ශාසනය සුරක්ශිත කරමින් රක්ඛංග දේශයෙන් භික‍ෂුන් වැඩම කරවා ගැටඹේතොට උපසම්පදා කරවා පෝයමළු විහාරයේ වඩා හිඳුවමින් ලාංකේය ශාසන ඉතිහාසයේ සුවිශේෂී කඩ ඉමක් සනිටුහන් කළහ. එහෙත් වැඩි කල් නොගොස් උපසම්පන්න භික‍ෂුන් වහන්සේලා අභාවයට පත් වූ හෙයින් ඉන් අනතුරුව දෙවන විමලධර්මසූරිය රජතුමන් විසින් නැවතත් රක‍ඛංග දේශයෙන් උපසම්පදාව ගෙනවුත් සාමණේරයන් වහන්සේලා 33 නමක් උපසම්පදාකොට භික‍ෂු ශාසනය පිහිටුවීමට කටයුතු කළහ.

 

එහෙත් අඛණ්ඩව සිදු වූ විදේශීය ආක්‍රමණ හේතුවෙන් බුද්ධ ශාසනයේ පෝෂණය උදෙසා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම හේතුවෙන් ඉතා කෙටි කලක් තුළ නැවත ලාංකේය සම්බුද්ධ ශාසනය පරිහානියට පත් විය. එවන් පසුබිමක් තුළ වර්තමාන ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසන පුනරුද්දීප්තියේ ආදි කර්තෘවරයාණන් වහන්සේ වන වැලිවිට ශ්‍රී අසරණ සරණ සරංණකර සංඝරාජොත්තමයාණන් වහන්සේ මහත් වීර්යයෙන් අභාවයට ගොස් තිබූ ශාසන සම්ප්‍රදායන් යළිත් ඇතිකරලමින් වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමන්ගේ රාජ්‍ය අනුග්‍රහය ද ලබා භාෂා ශබ්ද ශාස්ත්‍රාදීය වැඩි දියුණු කරමින් ලංකා ධරණී තලය තුළ ශාසන ප්‍රතිෂ්ඨාපනය උදෙසා කටයුතු සිද්ධ කළහ.

 

උපසම්පන්න භික‍ෂූන් වහන්සේලාගෙන් තොරව භික්ශූ ශාසනයක් නොපවතින හෙයින් මහත් වෑයමකින් නරේන්ද්‍රසිංහ රජතුමන්ගේ කාලයේත් ශ්‍රී විජයරාජසිංහ රජුගේ කාලයෙත් දූත පිරිස් යවා උපසම්පදාව නැවත මෙරට ගෙනවිත් ශාසන චිරස්ථීතිය ඇතිකිරිමෙහිලා මහත් උත්සහයෙන් කටයුතු කළ ද එම ව්‍යායාමය විවිධ හේතූන් කරණකොටගෙන සඵලත්වයට පත් නොවීය. එහෙත් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන්ගේ අනුග්‍රහයන් තෙවන වර සියමට යවන ලද දූත පිරිස රාජ්‍ය වර්ෂ 1753 දී සියමේ බොරම්කෝට් හෙවත් පරමධාර්මි රජතුමන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන් සියම් රට ප්‍රවර උපාලි මහතෙරුන් ප්‍රධාන දූත පිරිස මෙරටට වැඩම කරවීමට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1753 ජූලි මස 15 වන ඇසළ පුර පුන් පොහෝ දින ලක්දිව භික්ශූ උපසම්පදාව ඇති කරලමින් සම්බුද්ධ ශාසන ප්‍රතිෂ්ඨාපනය සිද්ධ කරන්නට වැලිවිට සරණංකර මාහිමියන්ට හැකි විය. ඉන් අනතුරුව ශාසනික කතිකාවත් පිහිටුවමින් යළිත් ලක්දිව සම්බුද්ධ ශාසනය පරිහානියට පත්විම වැළැක්වීමට අවශ්‍යය ධර්මවිනය අධ්‍යාපනය මෙන්ම ශාසන ප්‍රතිපදාවන් පුහුණු කරමින් වියත් සුපේෂල භික්ශූ පිරිසක් නිර්මාණය කිරීමට උන්වහන්සේ අප්‍රතිහත ධෛර්යයයෙන් කටයුතු කළහ.

 

වැලිවිට සරණංකර මාහිමියන්ගේ ශාසන සේවයෙන් ප්‍රමුදිත භාවයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් රාජ්‍ය වර්ෂ 1762 දී වැලිවිට සරණංකර මාහිමියන්ට සංඝරාජ තනතුරත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක‍ඛිත මාහිමියන්ට මල්වතු මහාවිහාරයේ මහානායක තනතුර හෙවත් උපසංඝරාජ පදවියත් පිරිනමමින් ශාසන චිරස්ථීතියෙහිලා අවශ්‍යය රාජ්‍ය අනුග්‍රහය අඛණ්ඩව ලබා දීමට කටයුතු සම්පාදනය කළහ.

 

එදා රාජකීය පුෂපෝද්‍යානයෙහි වූ කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන්ගේ සන්ථාගාරය හෙවත් රාජකීය රැස්වීම ශාලාව උපෝෂිතාගාරයක් බවට පත් කොට පූජා කොට ලක්දිව අද්‍යතන ශාසන වංශකථාවේ ආරම්භ සනිටුන් වුයේ වර්තමාන මල්වතු මහාවිහාර පුණ්‍ය භූමිය තුළ ය. එතැන් පටන් අද දක්වා වසර 276 ක කාලයක් සම්බුද්ධ ශාසනයේ ජීව රුධිරය වන් උතුම් වූ උපසම්පදා විනය කර්මය සිදුකරමින් ධර්ම-විනයධර මෙන්ම මහාවිහාර ශාසන සම්ප්‍රදාය පිළිබඳ මනා දැනුමකින් යුත් ශාසන සංවර්ධනයෙහිලා මනා ශක්‍යතාවෙන් යුත් මහා සංඝරත්නය දැයට දායාද කරන්නට මල්වතු මහාවිහාරය කටයුතු කොට ඇත. ගත වූ සියවස් 03 කට ආසන්න කාලය තුළ මෙරටට සිදු වූ විදේශීය ආක්‍රමණ, දේශපාලන බිඳවැටීම්, ආර්ථීක හා සාමාජිය අර්බුදය මධ්‍යයයේ වුව ද චිරාගත ශාසනික සම්ප්‍රදායන් ද ආරක්ශා කර ගනිමින් ධර්ම-විනය පදනම මත පිහිටා ඓතිහාසික ලාංකේය භික්ශූ භූමිකාව අර්ථවත් කරමින් රාජ්‍ය පාලකයන්ට නිසි ධර්මානුශාසනා කරමින් මහජන සුභසිද්ධිය උදෙසා මල්වතු මහාවිහාර මගින් සිදුකරන අත්‍යුදාර සේවය සදානුස්මරණීය වේ. වර්ෂ 1815 දී බ්‍රිතාන්‍ය විසින් උඩරට රාජධානිය යටත් කර ගැනීමේ දී දේශිය උරුමය හා අනන්‍යතාව ආරක‍ෂා කර ගනීමින් බුද්ධ ශාසනයේ චිරස්තිථීය උදෙසා අවශ්‍ය නෛතික පසුබිම නිර්මාණය කරගන්නට උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය ඇතුළත් කර ගනිමින් විජාතීය බලවේගයන්ට ද ඍජුව මුහුණ දෙමින් කටයුතු කළ ආකාරය මල්වතු මහාවිහාරයේ ඓතිහාසික ශාසන භූමිකාව මනාව නිරුපණය කරන්නකි. දළදා මාළිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා අමතා මල්වතු මහාවිහාරයේ මහානායක මාහිමිපාණන් වහන්සේ එදා ඍජුවම පවසා සිටියේ — විජය රජතුමාගේ පටන් පිළිවෙළින් දිවයිනේ රජකළ රජවරු, බුදුදහම ආරක්ශා කළහ. බුද්ධාගම නිසා, ලංකාව ලෝකයේ නොවැටෙන ජාතියක් වශයෙන් සුරක්ශිත විය. තවද මෙරට රජවරුන්ගේ හා ජනතාවගේ සුභ සිද්ධියට ආගම ඉවහල් විය. ආගම නගා සිටුවීම නිසා, ඇතිවු සමෘද්ධතාව හේතු කොට ගෙන, රටේ රෝග උපද්‍රව ආදිය තුරන් විය. ලෝකයට සෙතක් විය යනුවෙනි.

 

1847 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව බුදු දහම සම්බන්ධ රාජ්‍ය වගකීම් වලින් නිදහස් වී එකී සියලූ වගකීම් ඉටු කිරිමේ බලය මල්වතු-අස්ගිරි උභය මහා විහාරයන්ට පැවරීමත් සමග මල්වතු මහාවිහාරානුබද්ධ ශාසනික සේවයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ විය. ඉන් අනතුරුව වර්ෂ 1853 දී දළදා වහන්සේ මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙත ඉංග්‍රීසි ආණ්ඩුව විසින් භාරදුන් අතර එදා සිට අද දන්වා ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරීත්වය ද දරමින් ශ්‍රී දළදා තේවාව නොකඩවා චිරාගත චාරිත්‍ර ප්‍රකාරව සිදු කරමින් මල්වතු මහාවිහාරය සිය ශාසන භූමිකාව මනාව ක්‍රියාත්මක කරමින් සිටිනුයේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බුදු දහමේ උතුම් සංස්පර්ශයෙන් ජන මනස පුබුදුවාලමින් ය. නූතන සමාජ දේශපාලනික විපර්යාසයන්ගේ තිඹිරිගෙය ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය පාලනය යුගය තුළ ඇතිවූ දේශපාලනික අස්ථාවර වීම් හා චිරාගත සාම්ප්‍රදායික රාජ්‍ය වගකීම් නොසලකා හැරීම ආදි බරපතල සමාජ දේශපාලනික වියවුල් මධ්‍යයේ වුවද දළදා වහන්සේගේ ආරක‍ෂාව උදෙසා මල්වතු මහා විහාරය් විසින් සිදුකොට ඇති සේවය සදා අනුස්මරණීය බව මෙහිලා සිහිපත් කළ යුතුමය. මල්වතු මහාවිහාර පාර්ශ්වයේ 26වන මහානායක ධුරන්ධර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන වර්තමානයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ශාසනික නායකත්වයේ යටතේ අති උදාර ශාසනික සේවයක් සලසන මල්වතු මහාවිහාරය වර්තමාන ලාංකේය සම්බුද්ධ ශාසනයේ කේන්ද්‍රස්ථානය ලෙස රටේ සමාජ, දේශපාලන, ආර්ථීක මෙන්ම ආගමික ගැටලූ හමුවේ මහජන සුභසිද්ධිය පෙරදැරි කරගෙන ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ රාජ්‍ය පාලකයන්ට ද උපදෙස් ලබා දෙමින් සම්බුද්ධ ශාසනයේ අනාගත අභිවෘද්ධිය උදෙසා සෑම වර්ෂයකම 350 සාමණේර භික‍ෂූන් වහන්සේලා උපසම්පදා කරමින් ඒ ඒ පළාත් තුළ සංඝ සාමග්‍රිය ඇති කරලමින් ශාසනය ශෝභාමත් කිරීමට ප්‍රතිබල සම්පන්න භික‍ෂූන් වහන්සේලා විෂයෙහි පළාත් නායක පදවි තනතුරු ද පිරිනමමින් සංඝ සංස්ථාවේ සංවර්ධනය උදෙසා කටයුතු සම්පාදනය කරමින් උතුම් මහාවිහාර ථෙරවාදී සම්ප්‍රදායේ සුරක‍ෂාව, ප්‍රවර්තනය හා ප්‍රවර්ධනය උදෙසා අත්‍යුදාර මෙහෙවරක නිරතව සිටී.